සමාජ විද්‍යා න්‍යාය

සමාජ විද්‍යා න්‍යාය

සමාජ විද්‍යා න්‍යාය යනු "මානව සමාජය විග්‍රහ කර ගැනීම ස‍දහා යොදා ගන්නා අදහස් සමුදායක එකතුවකි."




න්‍යායක ප්‍රධාන  ලක්ෂණ 03කි.


i. න්‍යාය විධිමත් ලෙස ප්‍රකාශ කිරීම


ii. න්‍යාය නැවත පරීක්‍‍්‍ෂා කිරීමට ඇති හැකියාව


iii. න්‍යාය මුල් කර ගනිමින් අනාවැකි පල කිරීමේ හැකියාව






සමාජ විද්‍යාත්මක න්‍යාය යනු කුමක්දැයි හදුනාගැනීමේදී ජෝර්ජ් ජී හෝමාන්ස් (George C. Homans) න්‍යායක අඩංගු විය යුතු කරුණූ 03ක් පෙන්වා දේ.






01. සංකල්පයන්ගේ එකතුවක් හෝ සංකල්පමය සැලැස්මක් ගොඩනගා ගනිමින් ඒවා විශ්ලේෂණය කර ගැනිම.


02.ප්‍රස්තුතයන්ගේ එකතුවක් ගොඩනගා ගනිමින් ඒවා එකින් එක පරීක්ෂා කරමින් එහි සම්බන්ධතාවයන් හදුනා ගැනීම.


03.මෙම ප්‍රස්තුතයන් සත්‍ය හෝ අසත්‍ය දැයි සොයා බලමින් ඒවා තාර්කික ලෙස විග්‍රහ කරමින් සාමාන්‍යකරණයකට එළඹීම සහ සිද්‍යාත්මක න්‍යායක් ගොඩනගා ගැනිම.





සමාජ විද්‍යා න්‍යායක තිබිය යුතු ලක්ෂණ



01.න්‍යායක හොදින් නිර්වචනය කරනු ලැබූ සංකල්ප හා තාර්කික ලෙස අන්තර් සම්බන්ධතා ගොඩනගන ලද ප්‍රස්තුතයේ අඩංගු විය යුතුය.


02.න්‍යාය යනු විධිමත් ලෙස සංකේතාත්මකව ගොඩනගන ලද අතර එහි කරුණු අතර එහි කරුණු අතර නොපැහැදිලි බවක් නොතිබිය යුතුය.


03.න්‍යාය යනු යම් කාල සීමාවකට පමණක් සිමාවු ලක්ෂණ වලින් යුක්ත වූවක් මේ නිසා න්‍යාය සෑම විටම නව දර්ශනයන්ගෙන් හා සාක්ෂි වලිත් ප්‍රතිසංස්කරණයට ලක් විය යුතුය.


04.න්‍යා‍යේ අඩංගු වන කරුණු සහ සාක්ෂි මත පමණක් යමක් තහවුරු කර ගැනි‍මේ හැකියාව තිබිය යුතුය. එය මිනිසුන්ගේ සාමාජිය තත්ත්වයන් පෙන්වා දෙමින් එහි එකගතාවයක් ගොඩනගන්නා වූ විධිමත් සුත්‍රකරණයක් විය යුතුය.


05.තර්ක කිරිමට අනාවැකි පළ කිරිමට න්‍යායට හැකියාවක් තිබිය යුතුය.





සමාජ විදයාත්මක න්‍යායේ කාර්ය භාරය



01.සමාජ විදයාත්මක න්‍යාය ප්‍රභල සමාජ ප්‍රශ්න සහ නව සමාජ සංසිද්ධීන් විමර්ශණාත්මකව අධ්‍යනය කරමින් ඒ සම්බන්ධයෙන් විවිධ විග්‍රහයන් ගොඩ නගයි.ඕනෑම ඵලදායී නයායක් සමාජ විද්‍යාත්මක පරීක්ෂණ වලදී අර්ථවත් උපන්‍යාස සහ සංකල්ප ඇතුළත් ඥාණ සම්භාරයක් වේ. ආනුභාවික අධ්‍යන සදහා න්‍යාය වැදගත් වේ.


02.නයාය යනු රැස් කරන ලද දැනුමකි.එමගින් ඉතිහාසය තුළ සිදු වී ඇති සමාජ සංසිද'ධීන් සමාජ ක්‍රියාකාරකම් හොදින් විග්‍රහකර තිබේ.එමනිසා මෙම දැනුම පවත්නා සමාජය සහ සංවිධානය අවබෝධ කර ගැනිමේදී වඩා හොදින් භාවිතා කර හැකිය.


03.සමාජ විද්‍යාත්මක න්‍යාය යම් ගැටළුවක් ක්‍රමානුකූලව හැදෑරීමට එම ගැටළුව හා සම්බන්ධ සංකල්ප අතර සම්බන්ධතාවයන් විග්‍රහ කිරීමට උපකාරීවේ.


04.සමාජ විද්‍යාත්මක න්‍යාය සුවිශේෂී ආනුවික පරීීක්ෂණයන්හි එන සමාජ සංසිද්ධීන්ගේ සත්‍යතාවය ඔප්පු කිරීමට පරීක්ෂණ සැලැස්ම ඔප්පු කිරීමට නිශ්චිත සාක්ෂි සපයයි.


05.සමාජ විද්‍යාත්මක පරීක්ෂණ වලදී නොපැහැදිලි ස්ථාන පැහැදිලි කර ගැනීමට න්‍යාය ප්‍රයෝජනවත් වේ.එමනිසා න්‍යාය මගපෙන්වන්නෙකු සේ කටයුතු තරයි.


06.සමාජ විද්‍යාත්මක න්‍යාය සමාජ සංසිද්ධීන්අධ්‍යනය කිරීම සදහා උපකාර සපයනු ලැබේ.එනම් පරික්ෂණ සීමාවන් තීරණය කිරීමට පරික්ෂණ සැලැස්ම ක්‍රමවත් කිරිමට මෙන්ම දත්ත පෙළ ගස්වා ගැනීමටද න්‍යාය වැදගත් වේ.


07.සමාජ විද්‍යා න්‍යාය සමාජය පිළිබද අපගේ දැනුමේ ඇති හිඩැස් පිරවීම සදහා ඉවහල්‍ වේ.


08.න්‍යාය සමාජ හැසිරීම් ගැන කල්තබා ප්‍රකාශ කිරීමට ප්‍රයෝජනවත් වේ.


09.සමාජ විද්‍යා න්‍යාය සමාජ විද්‍යාවෙ විද්‍යාත්මකක බව ආරක්ෂා කිරීමට හේතුවී තිබේ.






සමාජ විද්‍යාවේ විද්‍යාත්මක ක්‍රමය යනු කුමක්ද ?‍




සමාජ විද්‍යාව යනු සමාජයක ජීවත් වන මිනිසුන්ගේ විවිධාකාර හැසිරීම් රටාවන් විද්‍යාත්මකව අධ්‍යනය කරනු ලබන විෂයකි.සමාජ විද්‍යාඥයාගේ පරීක්ෂණාගාරය සමාජයයි.මෙම සමාජයේත් එහි ජීවත් වන මින්සුන්ගේත් ස්වභාවය නිරන්තරයෙන් වෙනස්වන බව "චාල්ස් එංගල්ස් , මැක් අයිවර්" යන සමාජ විද්‍යාඥයින් දෙ‍දෙනා පෙන්වා දෙයි.මේ නිසා නිරන්තරයෙන් වෙනස්වන පුද්ගල හැසිරිම් තුළින් නියත නිගමන ලබා ගන්නේ කෙසේද යන ගැටළුවට සමාජ විද්‍යාඥයාට මුහුණ පෑමට සිදුවේ.එනම් සමාජය පිළිබද පදනමක් ගොඩ නැගිමට සමාජ විද්‍යාඥයාට තරමක් අපහසු වේ.නමුත් ශුද්ධ විද්‍යාවක් වශයෙන් සලකන ජීව, රසායන භෞතික යන විද්‍යාවන්ගේ මෙයින් වෙනස් වේ.ඒවායේ ලබාගනු ලබන නිගමන නියත ඒවා වන අතර සාධක පාළනය කර උපකරණ භාවිතයෙන් විද්‍යාගාර තුළ මේවායේ පරීක්ෂණ සිදුකරන අතර එම නිසා ශුද්ධ විද්‍යාවන් පැහැදිලිවම විද්‍යාවන් ලෙස ගොඩනැගී තිබේ.


කෙසේ වෙතත් සමාජ විද්‍යාඥයා කිසියම් සමාජයක ජිවත් වන මිනිසුන්ගේ චර්යාවන් පිළිබද අධ්‍යනය කර නියත නිගමත ලබා ගැනිමේ ක්‍රම වේදයක් අනුගමනය කරයි.මෙය සමාජ විද්‍යාත්මක ක්‍රමය ලෙස හදුන්වයි.සමාජ විද්‍යාවේ භාවිතා කරනු ලබන විද්‍යාත්මක ක්‍රමය පිළිබද විග්‍රහයක් ඉදිරිපත් කරන "දේවින්ද තාකූර්"විසින් රචිත Research Methodology නැමති ග්‍රන්ථයේ විද්‍යෘත්මක ක්‍රමයේ මූලික පියවර 06ක් ඇති බව පෙන්වාදේ.


01.ගැටළුවක් ගොඩනගා ගැනීම


02.උපන්‍යාසයක් ගොඩනගා ගැනීම.


03.දත්ත රැස් කිරීම.


04.දත්ත විශ්ලේෂණය හා සංස්ලේෂණය


05.සාමාන්‍යකරණය


06.න්‍යායක් හා න්‍යායාත්මක නීතියක් ගොඩනගා ගැනීම.





සමාජ විද්‍යාත්මක න්‍යාය තුළ පරිණාමවාදය



පරිණාමය යනු මානව සමාජය ක්‍රමිකව විකාශණය වීමකි.සමාජ විද්‍යා න්‍යායට මුලින්ම එක් වූ සහ වැදගත් වන න්‍යාය ලෙස පරිණාම වාදය හැදින් විය හැකිය.සමාජ විද්‍යාඥයින්ට මෙය වැදගත් වූයේ චාල්ස් ඩාවින්ගේ පරිණාම වාදය පිළිබද අදහස් වලිනි.මෙහි දැකිය හැකි විශේසත්වය වන්නේ අවධි සහ ප්‍රගති දක්නට ලැබීමයි.පරිණාමවාදය සාර්ව න්‍යාය ගණයට අයත් වේ.මෙහි ඇති විශේෂත්වය වත්තේ අවධි සහිතව විකාශණය විමයි.

උදා- ඔගස්ට් කොම්ට් ගේ අවධි සහිත න්‍යාය

කාල් මාක්ස් ගේ අවධි පිළිබද න්‍යාය

මෙහිදී අවධි රහිතවද න්‍යාය ඉදිරිපත් කර තිබේ.


උදා- එමිල් ඩූර්කයිම්ගේ යාන්ත්‍රික ඒකාබද්ධතාවය හා ඓන්දීය ඒකාබද්ධතාවය.






පරිණාමවාදි න්‍යාය ප්‍රධාන වශයෙන් කොටස් 04කින් විග්‍රහ කෙරේ.


01.අවධි පිළිබද න්‍යාය


02.ඓන්ද්‍රීය විශායන න්‍යාය


03.ස්වභාවික වර්ථය පිළීබද න්‍යාය


04.සංකල්පවේදී න්‍යාය




01. අවධි පිළිබද න්‍යාය


මෙයින් අදහස් කරනු ලබන්නේ මානව සමාජය අවධි සහිතව විකාශනය වීමක් ලෙස පෙන්වා තිබීමයි.මෙම න්‍යාය නැවතත් කොටස් 04කට බෙදේ.



i.ඒක රේඛීය පරිණාමවාදය


මානව සමාජය හා සංස්කෘතිය එක් නිශ්චිත දිශාවකට ගමන් කිරමින් අවධීන් සහිතව විකාශනය වී මුලින් පැවති අවධියට වඩා පසුව එළ‍ඹෙන අවධිය වඩා ප්‍රගතියකින් යුක්තව අවසානයේදී විශිෂ්ඨතම සමාජ අවධියකට පත් වන්නේ යැයි පෙන්වා දෙනු ලබන න්‍යායන්ය.

උදා- ඔගස්ට් කොම්ට්ගේ අවධි පිළිබද න්‍යාය දැක්විය හැකිය.



මිනිසාගේ බුද්ධීය සංවර්ධනය විමේ ප්‍රතිඵලයක් ලෙස සමාජය නවීන විද්‍යාත්මක අවධියක් කරා ගමන් කරන බව පෙන්වාදෙන කොම්ටේ විශිෂ්ඨතම අවධියෙන් පසුව සමාජයට සිදුවන්නේ කුමක්ද යන්න පෙන්වා දී නැත.මෙම ඒක රේඛීය පරිණාමවාදයට තවත් නිදසුනක් ලෙස කාල් මාක්ස්ගේ අවධි සහිත න්‍යාය දැක්විය හැකිය.


ඕගස්ට් කොම්ටේ මෙන්ම කාල් මාක්ස්ද සමාජය පරිණාමය වීම පිළිබදව අවධි සහිතව විග්‍රහයක් ඉදිරිපත් කර තිබේ.ඔහු පෙන්වා දෙන්නේ දෙපිරිසක් අතර ගැටුමක් හේතුවෙන් පැවති සමාජ ව්‍යුහය විපර්යාසයට බදුන් වී නව සමාජයක් උදාවීමයි. මෙලෙස ඒක රේඛීය පරිණාමවාදයේ දුර්වලතාවයක් වන්නේ සමාජ පරිණාමයේ අවසාන යුගයෙනන් පසුව සමාජයට සිදුවන්නේ කුමක්ද යන්න විග්‍රහ කර නොතිබීමයි.මෙම න්‍යාය නුතන සමාජ විද්‍යා න්‍යාය දුර්වල න්‍යායක් ලෙස හදුන්වයි.



ii.විශ්වීය පරිණාමවාදය




විශ්වීය පරිණාමවාදය යනු මානව සමාජය හා සංස්කෘතිය සරල තත්ත්වයකින් ආරම්භව දියුණු සංකීර්ණ යුගයක් දක්වා සමාජය විකාශණය වීමයි.මෙම න්‍යායේ දුර්වලතාවය වන්නේ සරල තත්ත්වය හා සංකීර්ණ තත්ත්වය පෙන්වා දෙනු ලබන සීමාව කොතනද යන්න දක්වා නොතිබීමයි. මෙවැනි න්‍යායන් වල‍ට සමාජ විද්‍යාඥයන්ගේ සහ මානව විද්‍යාඥයින්ගේ අදහස් දැක්විය හැකිය.


* එමිල් ඩකයිම් - යාන්ත්‍රික ‍ඒකාබද්ධතාවය ---> ඓන්ද්‍රීය ඒකාබද්ධතාවය


* හර්බට් ස්පෙන්සර් - සම ජාතීත්වය ---> විෂම ජාතීත්වය


* රොබට් රෙඩ්නීල්ඩ් - ගැමි සමාජය ---> නාගරික සමාජය


* පර්ඩිනන්ට් ටොනිස් - ප්‍රජාව ---> සමාජය


නූතන සමාජ විද්‍යා න්‍යාය තුළ මෙම විශ්වීය පර්ණාමවාදී න්‍යායද භාවිතයේ නොපවතින න්‍යායක් ලෙස සමාජ විද්‍යාඥයින් පෙන්වා දී තිබේ.





iii.චක්‍රීය පරිණාමවාදය



මානව සමාජය හා සංස්කෘතිය සරල අවස්ථාවකින් ආරම්භව අවධි කිහිපයක් ඔස්සේ විකාශණය වී සංවර්ධානාත්මක තත්ත්වයට ලගා වී නැවත ආරම්භක ස්ථානයටම සමාජය පරිණාමය සිදුවේ යන අදහස ගෙනදේ.




iv.බහුවිධ පරිණාමවාදය

මෙයින් අදහස් කරන්නේ සමාජ විපර්යාසය සදහා සංසිද්ධි ගනනාවක් වැදගත්ව ඇති බවයි.මේ සම්බන්දව ඇමරිකානු සමාජ විද්‍යාඥයෙකු වන ටැල්කොට් පාසන්ස් අවධි 03ක් ඔස්සේ සමාජය පරිණාමය වී ඇති බව පෙන්වා දෙයි.


*ප්‍රාථමික මට්ටම


*අතරමැදි මට්ටම


*නවීණ මට්මම


මෙහිදී පාසන්ස් පෙන්වා දෙන්නේ ප්‍රථමික තලයක සිට අතරමැදි සමාජයක් දක්වා සමාජ විකාශනයේදී වැදගත් සාධක වූයේ භාෂාව හා සංස්කෘතිය වූ බවයි.සමාජ පරිණා‍මය සම්බන්දව පාසන්ස්ගේ වැදගත්ම අදහස වන්නේද නවීන මට්ටම දක්වා විකාශනය වීටම්දී නූතන සමාජවල සංස්ථාගත ආයතනික ව්‍යුහයන් ඒ සදහා වැදගත් වී ඇති බවයි.


ඩඩ්ලි ඩන්කන් විසින් සමාජ පරිණාමය සදහා නූතන සමාජවල පවතින සංකීර්ණතාවයන් පරිසර පද්ධතිය සමග බද්ධවිමෙන් සිදුවන බව පෙන්වා දේ.


නූතන සමාජ විද්‍යා න්‍යාය තුළ භාවිතයේ පවතින වඩා ප්‍රකට න්‍යාය බවට පත්වී ඇත්තේ මෙම බහුවිධ පරිණාමවාදී න්‍යායයි.






02. ඓන්ද්‍රීය විභේදායන න්‍යාය ‍






මෙයින් අදහස් කරන්නේ ස්වාභාවිකව සිදුවන විපර්යාසයක් නොව කුඩා ශෛලයකින් ආරම්භව විවිධ තත්ත්වයන් යටතේ ව්භේදනයට ලක්වෙමින් එහි ප්‍රතිඵලයක් ලෙස සංකීර්ණත්වයක් කරා ගමන් කරන්නේය යන අදහසයි.මෙය "ඓන්ද්‍රීය සාදෘශ්‍ය"ලෙසද හදුන්වනු ලබයි. එනම් ජීවියෙකු කුඩා ශෛලයකින් ආරම්භව විවිධ තත්ත්වයන් යටතේ ආරම්භවී වෙනස් වීම් වලට ලක්වී විශාල සත්වයෙකු දක්වා පරිණාමය වෙයි.එම පරිණාමය සදහා පද්ධතිවල ක්‍රියාකාරීත්වය වැදගත් වූයේ යම්සේද සමාජ දේහයද එපරිය.


නිදසුනක් ලෙස පවුල් සංස්ථාව ගෙන බලන විට දෙදනෙකුගෙන් ආරම්භව නව සාමාජිකන් එකතු වි ඔවුන්ට පැවරෙන සමාජ,දේශපාලන,සංස්කෘතික හා ආර්ථික කාර්යභාරයන් ක්‍රියාත්මක වීමෙන් එම සංස්ථාව පද්ධතියක් ලෙස හොදින් ක්‍රියාත්මක වෙයි.මෙහි විශේෂත්වය වන්නේ අනුකලනය සහ ඒකීයත්වයයි.


03.ස්වභාවික වරණය පිළිබද න්‍යාය






මෙම න්‍යායෙන් අවධාරණය කරන්නේ සමාජයට හොදින් අනුවර්ථනය විය යුතු බවයි.දුර්වලයා පරාජය වී සංකිර්ණත්වය ජයගන්නා ආකාරය මෙයින් අදහස් වේ.දුබලයා නිරන්තරයෙන්ම ප්‍රභලයාගේ ග්‍රහණයට හසුවිම ස්වභාව දහමටද එකගය.එය ස්වභාවික ධර්මතාවයකි. "මත්ස්‍ය න්‍යාය" අවධාරණය කරන්නේද ශක්තිවන්තයන්ගේ ග්‍රහණයට දුර්වලයන් හසුවන බවයි. "කාල් මාක්ස්" පවා පෙන්වා දුන්නේ,මානව ඉතිහාසයේ ආරම්භක යුගවල සිට ප්‍රභලයාගේ ග්‍රහණයට දුබලයන් හසුවන බවයි. වහල් යුගයේදී වහල් හිමියාගේ ආධිපත්‍යයටවහලුන් අවනත විය. වැඩවසම් යුගයේදී රදළ ඒකාධිකාරයට ප්‍රවේණීදාසයා ගොදුරක් විය. ධනේශ්වර සමාජවල ධනපතියා වෙතින් කම්කරුවන් පීඩාවට ලක් විය.


නමුත් මාක්ස් පෙන්වා දෙන්නේ හැමදාම ශක්තිවන්තයන් ජය නොගන්නාන බවයි.යම් කිසි දවසක පීඩනයට ලක්වන පිරිස් විසින් බහුතරයේ ඒකාධිකාරයක් ගොඩනගාගෙන ශක්තිවන්තයන් පරාජය කරන බවයි.කෙසේ වුවද මෙම ස්වභාවිකවරණය පිළිබද න්‍යා‍යේ වැදගත් ලක්ෂණ 02ක් වන්නේ,


i.අනුවර්ථනය


ii.එකගකම


පරිසරයට හොදින් අනුවර්ථනය නොවන විට නොගැලපීම ඇතිවේ.එකගතාවයක් නොමැති වීම පවතින සමාජ ක්‍රමයට උරාගත නොහැකිවේ.නිදසුනක් ලෙස නූතන සමාජ ක්‍රමයට අනුව උපාධිධාරීන් වූ පමණින් රැකියා වෙළදපොළට ඔරොත්තු දිය නොහැකිය.පවතින ක්‍රමයට ගැලපෙන්නට නම් ඊට අමතරව ඉංග්‍රීසි භාෂාව පිළීබද දැනුම,තොරතුරු තාක්ෂණය හා වෙනත් ඩිප්ලෝමාවන් හැදෑරිය යුතු අතර එවිට හොදින් සමාජයට බද්ධ විය හැකිවේ.


"socio biology - සමාජ ජීව විද්‍යාව" නම් සංකල්පය ස්වභාවික වරණය පිළිබද න්‍යායේදී අවධානය යොමුවනන වැදගත් සංකල්පයකි.මෙයින් පෙන්වා ‍දෙන්නේ පුද්ගලයාගෙන් පුද්ගලයාට ජානමය හැකියාවන් පවතින බවයි.මේ නිසාම දැනුම,සන්නිවේදනය පිළිබද හැකියාවන් පුද්ගලයාට හිමිවේ.E.O.Willson නැමැති ඇමරිකානු සමාජ විද්‍යාඥයාට අනුව සමාජය තුළ අගනාකම් පවතින්නේද ජානමය තත්ත්වයන් හේතුවෙනි.පෙරදිග හා අපරදිග ලෙස සංස්කෘතිය බෙදාගෙන ඇත්තේද ජානමය තත්ත්වයන් නිසාය.ස්ත්‍රිය පුර්ෂයාට යටත් වන්නේද ජානමය තත්ත්වයන් මතය.


04.සංකල්පවේදී පරිණාමය






මිනිසාගේ මනස දියුණු කිරීමෙන් එම දැනුම ඔස්සේ ලෝකය හා සත්වයා පිළිබබද විග්‍රහ කිරීම සංකල්පවේදී පරිණාමයයි. තම මනස දියුණු කිරීමෙන් විශ්ව පරිණාමය,ජීව පරිණාමය සහ සමාජ පරිණාමය පිළිබදව විග්‍රහයක් කල ලොව ප්‍රථමයා ලෙස සලකන්නේ බුදුන් වහන්සේය.මෙම සමාජ පරිණාමයේ දී ආරම්භය,පැවැත්ම හා අවසානය පිළිබදදව ගැඹුරු විග්‍රහයක් බෞද්ධ දර්ශණය තුළ අන්තර්ගතය.


මාක්ස්ගෙන් අනතුරුව ඔහුගේ අදහස් තව දුරටත් පුළුල් කළ නව මාක්ස්වාදියෙකු වන ජර්ජන් හබමාස් සංකල්පවේදී පරිණාමවාදයට අනුව මිනිසාගේ දැනුම වර්ධනය වීමේ ප්‍රථිපලයක් ලෙස සමාජ පරිණාමය සිදුවූ බව පෙන්වා දේ.නූතන විද්‍යාව හා තාක්ෂණය මත පදනම්ව මෙය සිදුවූ බව පෙන්වාදේ.නූතන විද්‍යාව හා තාක්ෂණය මත පදනම්වූ යථානුභූත සමාජ විවේචනය ඔහු නූතනයේ යම් කථිකාවතක් තිබිය යුතුබව පෙන්වාදේ.


නූතන සමාජ විද්‍යා න්‍යාය දෙස බලන විට ආරම්භක සමාජ විද්‍යාඥයන්ට මෙන්ම නූතන සමාජ විද්‍යාඥයින්ට ද සමාජය පිළිබදව නව විග්‍රහයක් ඉදිරිපත් කිරීමට "පරිණාමවාදය" වැදගත් වී ඇති බවයි.මෙයින් අපට එළඔිය හැකි නිගමනය වන්නේ සමාජ විද්‍යාවට එහි අනන්‍යතාවය හා න්‍යායාත්මක වර්ධනයට ඉවහල්වූ මූලිකම න්‍යාය බවට පත්ව ඇත්තේ පරිණාමවාදය බවයි.


කෘත්‍යවාදී න්‍යාය (Functionalism)

කෘත්‍යවාදය න්‍යායක් වශයෙන් සමාජ විද්‍යා න්‍යායට 20වන සියවසේ එක්වූවද එහි මූල බීජයන් සම්භාව්‍ය සමාජ විද්‍යා න්‍යාය තුළ දකින්නට ලැබේ.එමිල් ඩර්කයිම් නම් සමාජ විද්‍යාඥයා ඕස්ට්‍රේලියාවේ අරුන්ටා ජන සමාජය ගැන කළ අධ්‍යනයෙන් පසුව සමාජයට ආගමෙන් වන කාර්ය භාරයන් විග්‍රහ කර තිබේ.නමුත් ඔහු පරිණාමවාදී එලඹුමක් ඔස්සේ එය විග්‍රහ කර තිබේ.ඒ සදහා කෘත්‍යවාදය බිහිවීම සදහා මූලික පදනම ගොඩනගා ඇත්තේ මානව විද්‍යාඥයින් විසිනි.මානව විද්‍යාඥයාගේ අධ්‍යන සදහා සමස්ථ ප්‍රාථමික සමාජයට හසුවන බැවින් එම සමාජ පද්ධතිවල කාර්ය භාරයන් මුල්කරගෙන කෘත්‍යවාදය ගොඩනැගී තිබේ.






නූතන සමාජ විද්‍යා න්‍යාය තුලට කෘත්‍යවාදය එක් කිරීමේ පුරෝගාමියා ලෙස ගෞරවයට පාත්‍රවී ඇත්තේ ඇමරිකානු සමාජ විද්‍යාඥ ටැල්කොට් පාසන්ස්ය.ඔහුගෙන් අනතුරුව රොබට් කේ. මාටර්,කිංග්ස්ලි ඩේව්ඩ්ස්,ජෝර්ජ් හේමාන්ස් වැනි නූතන සමාජ විද්‍යාඥයින් විසින් එය තව දුරටත් වර්ධනය කිරීමට භාජනය වී තිබේ. මේ අනුව සමාජයේ ඒ ඒ කොටස් වෙතින් ඉටුවන කෘත්‍යයන් මුල් කොට ගෙන සමාජය විග්‍රහ කිරීම "කෘත්‍යවාදය" ලෙස හැදින් විය හැකිය.






කෘත්‍යවාදය යන්න තේරුම් ගැනිම සදහා ඒ තුළ ඇති මූලික ලක්ෂණ කිහිපයක් විග්‍රහ කර ගත යුතුවේ.එම ලක්ෂණ පහත පරිදි දැක්විය හැකිවේ.


i.සමාජය කිසියම් ව්‍යුහයකට අනුව නිර්මාණය වී තිබේ.


ii.එම ව්‍යුහය කොටස් වලින් යුක්තවේ.


iii.එම කොටස් වලට කළ යුතු නිශ්චිත කාර්ය භාරයක් පවතී.


iv.ක්‍රියාකාරීත්වයේදී සෑම කොටසක්ම යම් කෘත්‍යයක් ඉටු කරනු ලබයි.


v. මෙම කොටස් තේරුම් ගැනීමට නම් කොටස් අතර අන්තර් සබදතාවයන් තේරුම් ගත යුතුය.






"කෘත්‍ය" යන්න තේරුම් ගැනීම සදහා එහි මූලික ලක්ෂණ කිහිපයක් නැවත සලකා බැලිය හැකිය.


01.කෘත්‍ය විශ්වීයයි.


02.කෘත්‍ය අත්‍යාවශ්‍යයි


03.කෘත්‍ය සුවිශේෂීයි






කෘත්‍ය විශ්වීයවේ යන්නෙන් අදහස් වන්නේ සෑම සමාජයකම කෘත්‍යයන් වන බවයි.සමාජානුයෝජනය ගෙන බලන විට එය සෑම සමාජයකම අඩු වැඩි ලෙස දැකිය හැකිය. කෘත්‍ය අත්‍යාවශ්‍ය යනු එය අනිවාර්යෙන්ම ඉටු කළ යුතු බවයි.කෘත්‍ය සුවි‍ශේෂීවේ යනු කුමන හෝ පද්ධතියකින් කෘත්‍ය යන්න ඉටු කරනු ලැබේ.මෙලෙස කාත්‍ය යන්න තේරුම් ගැනිමෙන් අනතුරුව "කෘත්‍යවාදය" මුල් කරගෙන සමාජ විද්‍යාඥයන් සමාජය විග්‍රහ කර ඇති ආකාරය පහත පරිදි තේරුම් ගත හැකිය.





ප්‍රකට කෘත්‍ය හා නිලීන කෘත්‍යය



බැලූ බැල්මට සමාජයෙන් ඉටු විය යුතු යැයි අපේක්ෂා කරන කෘත්‍යයන් ප්‍රකට කෘත්‍යයන් වෙයි."නිලීන කෘත්‍යය"යනු ප්‍රකට කෘත්‍යය ඉටු වීමෙන් වන අතුරු කෘත්‍ය වේ.




කෘත්‍ය විකල්පය හා ව්‍යුහ විකල්පය



මෙයින් අදහස් කරනු ලබන්නේ කෘත්‍යයන් එකක් හෝ කිහිපයක් ඉටුවිම සදහා විකල්ප ලෙස ව්‍යූහයක් පවතින බවයි.ප්‍රාථමික ඒකකය වන පවුල ගෙන බලන විට එයින් ඉටුවන කෘත්‍යයන් පහත පරිදි දැක්විය හැකිය.






"ව්‍යුහ විකල්පය" ලෙස හදුන්වනු ලබන්නේ යම් කිසි කෘත්‍යයක් ඉටු වීමසදහා ව්‍යුහ ගණනාවක් විකල්ප වශයෙනි පෙනී සිටිය හැකිය."සමාජානුයෝජණය" නිදසුනක් ලෙස ගතහොත් එම කෘත්‍යය ඉටුවීම සදහා පවුල,ආගම,අධ්‍යාපනය,දේශපාලනය හා ආර්ථිකය යන සංස්ථා සියල්ලෙන්ම එය ඉටුවේ.





කෘත්‍යවාදය හැර අනෙකුත් සමාජ විද්‍යා න්‍යායන් සියල්ලම සමාජය විග්‍රහ කරන්නේ ,හේතුවේ සිට ඵලය දක්වාය.නමුත් කෘත්‍යවාදය ඵලයේ සිට හේතුව දක්වා සමාජය විග්‍රහ කරයි.එබැවින් සමාජ විද්‍යාඥයින් තර්ක කරන්නේ එය සමාජයේ පැවති ස්වභාවය හෝ අනාගගතය වෙනස් වීම පිළිබද කථා නොකරන බැවින් දුර්වල න්‍යායක් ලෙසටය.කෙසේ හෝ කෘත්‍ය වාදය නූතන සමාජ ව්‍යුහයන් තුළ ක්‍රියාකාරීත්වය ගැඹුරින් විග්‍රහ කර ගැනීමට යොදාගත හැකි නව පර්යාලෝකයක් ලෙස පෙන්වා දිය හැකිය.



ටැල්කොට් පාසන්ස් ගේ කෘත්‍ය වාදය පිළිබද විශ්ලේෂණය



විසිවන සියවසේ නූතන සමාජ විද්‍යා න්‍යායට විශාල දායකත්වයක් සපයමින් එයට කෘත්‍යවාදය එක් කරනු ලබන්නේ "නසන්ස්" විසින්ය.දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව ඇමරිකානු ආර්ථීක ක්‍රමය අර්බුදයට ගිය අතර පැවතිවිෂමතාවයන් මුල්කරගෙන චිකාගෝ විශ්වවිද්‍යාලය කේන්ද්‍ර කරගත් වාමාංශික අදහස් දැරූ සිසුන් විසින් අරගල කර අතර එයට විසදුම් ලබාදීමේදී කාර්ය පැවරුනේ පාසන්ස්ටය.ඒ අනුව ඔහු ඇමරිකානු ධනේෂ්වර ක්‍රමය සාධාරණීකරනය කරමින් කෘත්‍ය වාදය ගොඩ නගා තිබේ.මේ අනුව පාසන්ස්ගේ විග්‍රහය තුළ කෘත්‍ය වාදය කොටස් 02ක් යටතේ ඉදිරිපත් කරයි.


01. පිළිබද සූක්ෂම විශ්ලේෂණය


02.සමාජය පිළිබද සාර්ව විශ්ලේෂණය






පාසන්ස් ගේ පිළිබද සූක්ෂම විශ්ලේෂණයේදී අවධානය යොමු කර ඇත්තේ පුද්ගල චර්යාව සාම්ප්‍රදායික සමාජය තුල හා නූතනසමාජ වල සංවිධානය වන ආකාරයයි.ඒ අනුව ඔහු පෙන්වාදෙන කාරණය වන්නේ,ප්‍රාථමික සමාජ වල ආරෝපිත දිශාන්තියක් ඔස්සේ සමාජ සබදතා ගොඩ නගාගැනීමයි. නමුත් නූතන සමාජ වල පුද්ගලයා සමාජය හා බද්ධ වන්නේ සාධිත තත්ත්වයන් මුල්කරගෙනය.එම සබදතා ද්විතීක සබදතා ‍ වේ. පාසන්ස් පෙන්වා දෙන දෙවන කාරනය වන්නේ ප්‍රාථමික සමාජවල පුද්ගලයා සමීප සබදතා පවත්වන බැවින් එම සබදතා හැගීම්බර සබදතා ලෙස පෙන්වා දෙයි.නමුත් නූතන සමාජ වල සාධිත දිශාන්තියක් තුල සමාජය සමග සම්බන්ධ වන නිසා හැගීම් වලින් තොර ද්විතීක සබදතා ගොඩනැගේ.පාසන්ස් විසින් පෙන්වා දෙන සමාජය පිළිබද ඔහුගේ සූක්සම විශ්ලේෂණයේදී සාම්ප්‍රදායික සමාජය තුල පුද්ගලයාට පැවරුනු කාර්ය භාරයන් ඕනෑම අංශයක සියලුම කාර්යන් කල හැකි විය.නමුත් නූතන සමාජය තුළ ශ්‍රම විශේෂීකරණයක් ඇතිවී තිබෙන නිසා පුද්ගලයාට කළ හැකි වන්නේ තමාට පැවරී ඇති කාර්ය පමණි.එයට හේතු වන්නේ තාර්කික පදනමක් තුළ සංකීර්ණ ආයතනික ව්‍යුහයන් නූතන සමාජය තුළ ගොඩනැගී ඇති බැවිනි.






ප්‍රාථමික සමාජය තුළ වරප්‍රසාද බෙදීයාමේදී එය හිමිවන ප්‍රභූ පිරිසක් දක්නට ලැබේ.ආරෝපිත තත්ත්වයන් තුල එම සමාජයේ සියළු දෙනාට වරප්‍රසාද හිමි නොවේ.නමුත් නූතන සමාජ වල සාධිත තත්ත්වයන් තුලින් ඉහළ වරප්‍රසාද ලබාගත හැකිය.






සමාජයට බද්ධ වීමේදී පැරණි සමාජය තුල සාමූහිකත්වයට පුද්ගල චර්යාව යටත්වූ අතර නූතන සමාජ වල පුද්ගල වාදයක් ඇති බැවින් සාමූහිකත්වය අභිබවා පුද්ගල චර්යාවන් ඉස්මතුවේ.පාසන්ස් පෙන්වා දෙන්නේ මෙම අංශ දෙක අතර පරතරයක් ඇති බැවින් රටා යුගල ලෙස නැතහොත් රටා විචල්‍යන් ලෙසින් සැලකිය යුතු බවයි. ඒ අනුව සූක්ෂම න්‍යාය තුළින් පුද්ගල චර්යාව පදනම් කරගෙන සමාජයේ කෘත්‍යයන් ගැඹුරින් විග්‍රහ කිරීමක් සිදු කරනු ලබයි.






පාසන්ස්ගේ සාර්ව විශ්ලේෂණය



සාර්ව විශ්ලේෂණයක් යනු අවධානයට හසුකරගන්නා ප්‍රමාණය විශාල එකක් වීමයි.එනම් ගැඹුරට නොගොස් මතුපිට තලයේ ප්‍රමාණයෙන් විශාල ලෙස අවධානයට යොමු කිරීමයි.පාසන්ස් විසින්ද කෘත්‍ය වාදය ඔස්සේ සමාජය කෘත්‍යාත්මක විශ්ලේෂණයකට බදුන් කර තිබේ.ඔහුගේ පද්ධති න්‍යායට අනුව සමාජය උප පද්ධති 04කට වර්ග කර තිබේ.ඔහු පෙන්වා දෙන පරිදි එම උප පද්ධති ක්‍රියාත්මක වීමට නම් කෘත්‍ය පූර්ව අවශ්‍යතාද ඉටු විය යුතු බවයි.එම උප පද්ධති හා කෘත්‍ය පූර්ව අවශ්‍යතා පහත පරිදි වේ.






01.සමාජ උප පද්ධතිය -------> අනුකලනය


02.සංස්කෘතිය --------> නිලීන රටා පැවැත්වීම


03.දේශපාලනය --------> පොදු අරමුණු සාධනය


04.ආර්ථිකය ----------> අනුවර්ථනය






පාසන්ස්ගේ සාර්ව විශලේශණය තුළ පළමුව සමාජ උප පද්ධතිය හදුන්වාදේ.එය ක්‍රියාත්මක වීමට නම් අනුකලනය නැමැති පූර්ව අවශ්‍යතාවය ඉටු විය යුතුය.මෙය නූතනයට බද්ධ කර ගත හොත් අනුකලනය බිදවැටී විඅනුකලනයක් ඇතිවී ඇති බව පෙනේ.සංස්කෘතික උප පද්ධතිය දෙවැන්නයි.එය ක්‍රියාත්මක වීමට නම් නිලීන රටා පැවැත්ම නැමැති කෘත්‍යය ඉටු විය යුතුය.වර්ථමාන ගෝලීය ප්‍රවාහය තුළ මෙම නිලීන රටා පැවැත්ම හා බටහිර සංස්කෘතිය අතර ගැටීමක් හදුනාගත හැකිය.සමාජයකට හොදින් අනුවර්ථනය වුවහොත් පමණක් ආර්ථික උප පද්ධතිය ක්‍රියාත්මක වේ.දේශපාලන උප පද්ධතිය ක්‍රියාත්මක වන්නේ පොදු අරමුණු සාධකය ඉටුවුවහොත් පමණි.






පාසන්ස්ගේ සාර්ව හා සූක්ෂම විශ්ලේෂණය තුළින් ඇමරිකානු ධනපති ක්‍රමය ආරක්ෂා කරන බව පැහැදිලවේ.කෙසේ වූවද කෘත්‍යවාදය ක්‍රමවේදයක් ලෙසද න්‍යායක් ලෙසද නව පර්යා ලෝකයක් ලෙසද නූතන සමාජය විග්‍රහ කර ගැනීමේදී වඩාත් ඉදිරියෙන් සිටින න්‍යායක් ලෙස පෙන්වා දිය හැකිය.





පශ්චාත් නූතනවාදය ( Post Modernism)




මෑත යුගය තුල ඒ ඒ විෂය කේෂ්ත්‍රය මුල් කරගෙන බිහිවූ සමාජ න්‍යායක් ලෙස පශ්චාත් නූතන වාදය පෙන්වා දිය හැකිය.පශ්චාත් නූතන වාදය යනු "පසුව එන"යන්නයි.එසේනම් පශ්චාත් නූතන වාදය තේරැම් ගැනීමට පෙර නූතනත්වය යනු කුමක්දැයි අවබෝධ කර ගත යුතුවේ.බටහිර පැවති සාම්ප්‍රදායික වැඩවසම් ක්‍රමය වෙනුවට ඇතිවුනු නව සමාජය නවීන සමාජය ලෙස හදුන්වනු ලබයි.විශේෂයෙන් යුරෝපය තුළ ගොඩ නැගුණු ඥාන ප්‍රබෝධය බුද්ධි කලම්බනය හේතුවෙන් පෙරදිගට වඩා ප්‍රගතියක් අත්පත් කර ගත්තේ බටහිර සමාජයයි.ඔවුන් ලබාගත් මෙම ප්‍රගතිය ඔස්සේ නොදියුණු රටවල් වෙත තම ආධිපත්‍ය පතුරවමින් යටත් විජිත අත්පත් කර ගත් අතර ඔවුන්ගේ යහපත උදෙසා වර්ථමානයද ගෝලීයකරණය ද යොදා ගනිමින් මෙම රටවල ස්වාධීන චින්තනය පරාධීන චින්තනයක් බවට පත් කර තිබේ.ඒ අනුව පශ්චාත් නූතන වාදීන් තර්ක කරන්නේ ඉතිහාසය නැැවත ලිවීම සදහාය.






පශ්චාත් නූතන වාදීන් තර්ක කරන්නේ ඇමෙරිකාව ප්‍රමුක බටහිර ංසවර්ධිත රාජ්‍යයන් විසින් සුපිරි බලයක් ගොඩනගාගෙන එය තුන්වන ලෝකයේ රාජ්‍යයන් කරා ව්‍යාප්ත වීමට උත්සාහ ගන්නා බවයි.මෙම ප්‍රවනතාවය පිළිබදව ඇන්තනී ගිඩ්න්ස් නම් සමාජ විද්‍යාඥයා බටහිර නවීනත්වය විසින් තුන්වන ලොව රටවලට කර තිබෙන බලපෑම සහ පශ්චාත් නව්‍යවාදීන් විසින් මෙම නූතනත්වය ප්‍රතික්ෂේප කිරීමට හේතුවන ලක්ෂණ කිහිපයක් පෙන්වා දී තිබේ.






01.අවධානම පිළිබද ගැටළුව


02.කාලය හා අවකාශය පිළිබද ගැටළුව


03.විශේෂඥ දැනුම අවශ්‍ය වීම






වඩා ප්‍රකට පශ්චාත් නූතන වාදීන් ලෙසට මිචෙල් ‍ෆූකෝ,ජැක් ඩෙරීඩා,එඩිමන් රෑසල් ප්‍රධාන පශ්චාත් නූතන වාදීන් ලෙස පෙන්වා දිය හැකිය.ලංකාවේ පශ්චාත් නූතන වාදය ව්‍යාප්ත වූයේ ලිංගිකත්වය පදනම් කරගෙනය.සාම්ප්‍රදායික ලිංගික චර්යාවනි වෙනස් කරමින් සමලිංගික සේවනය අනුමත කරමින් විකෘති ස්වභාවයක් පෙන්වා දෙයි.මෑත කාලීනව පශ්චාත් නූතන වාදයට විවේචන එල්ල වී පවතී.ඒ තුළ ඇති ඛේදවාචකය වන්නේ ඔවුන් ගොඩනගන තර්ක පදනම් විරහිත වීමයි.සමාජය වෙනස් විය නමුත් වෙනස් විය යුතු ආකාරය පිළිබද නිශ්චිත අදහසක් ඉදිරිපත් කර නොමැත.එක් එක් පශ්චාත් නූතන වාදියා තමන්ට ආවේණික ලෙස කරැණු ඉදිරිපත් කර තිබේ.සංකල්පමය ලෙස ඇති දුර්වලතා හේතුවෙන් මෙම න්‍යාය විෂය ක්ෂේත්‍රය තුළින් දිය වී යමින් පවති.






සමාජ විද්‍යා න්‍යාය සහ එහි මූලිකාංග



න්‍යායක් යනු විශ්වීය ප්‍රකාශනයකි.නිශ්චිතව තහවුරු කර ගත් දැනුම් සම්භාරයකි.සෑම විෂය ක්ෂේත්‍රයකම න්‍යායක් හදුනා ගත හැකිය.






සම්භාව්‍ය සමාජ විද්‍යාඥයින් සේම නුතන සමාජ විද්‍යාඥයින්ද මානව සමාජය එක් එක් සංසිද්ධි පිළිබදව දැනුම් සම්භාරයක් ගෙිඩනගා තිබේ.එය සමාජ විද්‍යා විෂයට එක් වී සංවර්ධනය වී තිබේ.වර්ථමානය වන විට බ්‍රිතාන්‍යය,ජර්මනිය, ප්‍රංශය,ඇමරිකාව සහ ආසියාතික සමාජ වලද සමාජ විද්‍යාව විෂයක් ලෙස ට පුළුල් ව්‍යාප්තියක් අත්කර ගෙන සිටී.






සමාජ විද්‍යාව විෂයක් ලෙස පුළුල් ‍ක්ෂේත්‍රයක් ආවරණය කරමින් ආසියාතික සමාජ වල පවා ව්‍යාප්ත වී පවතින අතර එය ලාංකික සමාජයට වැදගත් වූයේ 1948න් පසුවය.ලංකාවේ සමාජ විද්‍යාව හදුන්වා දීමේ පුරෝගාමීන් වන්නේ ඇමරිකානු සමාජ විද්‍යාඥ බ්‍රයිස් රයින් සහ මරේ ඒ ස්ටුවට්ස් ය. ප්‍රථම ලාංකික සමාජ විද්‍යාඥයා වන්නේ මහාචාර්ය රැල්ෆ් පීරිස්ය.ලංකා විශ්ව විද්‍යාලයෙන්ආරම්භවූ සමාජ විදයාව මේ වන විට ප්‍රධාන විශ්ව විද්‍යාල සේම කාර්මික විශ්ව විද්‍යාල පිරිවෙන්හි විශාල ශිෂ්‍ය පිරිසක් හදාරනු ලබන්නේ එය විෂයක් ලෙස ප්‍රයෝගිකවත් න්‍යායාත්මකවත් ලබා තිබෙන සංවර්ධනය නිසාය.






සමාජ විද්‍යා න්‍යායේ අන්තර්ගත මූලිකාග නොහොත් මූලික ප්‍රභේද පහත පරිදි දැක්විය හැකිය.






01. සංකල්ප හා නිර්වචන


02.විචලයන්


03.ප්‍රස්තුත


04.ආකෘතිය






සමාජ විද්‍යා න්‍යායේ අන්තර්ගත පළමු මූලිකාංගය වන්නේ සංකල්ප හා නිර්වචනයන්ය. සංකල්ප යනුවෙන් අදහස් කරන්නේ ඕනෑම පරීක්ෂණ මාතෘකාවක් තුළ දැකිය හැකි නිර්වචනය කළ යුතු විචල්‍යන්ය.






ප්‍රස්තුතයක් යනු සංකල්ප හා උප සංකල්ප අතර ඇති සබදතාවයි. උදාහරණයක් ලෙස "අනෝමීය තත්ත්වයන් බහුල සමාජයක ස්ත්‍රී දුෂණය අතර සම්බන්ධය" ප්‍රස්තුතය වේ.ආකෘතියක් ලෙස හැදින් විය හැක්කේ යම් සැලැස්මකි.සමාජ විද්‍යාඥයා පරීක්ෂණයක් සිදු කිරීමේදී න්‍යායාත්මක ආකෘතීන් උපයෝගී කරගනු ලබයි.






සමාජ විද්‍යා න්‍යාය හා පරීක්ෂණ අතරද ප්‍රබල සම්බන්ධතාවයක් හදුනාගත හැකිය. පරීක්ෂණයක් යනු යම්කිසි පරීක්ෂකයෙකුට මෙතෙක් දන්නා දැනුමෙන් තේරුම් ගත නොහැකි ගැටළුවක් පිළිබදව විද්‍යාත්මක ක්‍රමවේදය ඔස්සේ සොයා බලමින් එම ගැටළුවට අදාලව තාර්කික දැනුමක් සම්පාදනය කිරීමයි.එලෙස ගැටළුවක් පිළිබදව අධ්‍යනය කිරීමේදි පරීක්ෂකයාට මීට කලින් ඉදිරිපත් වී ඇතින්‍යායන් භාවිතා කිරීමට සිදුවේ.මෙයින් පැහැදිලි වන්නේ න්‍යායෙන් තොරව පරික්ෂණයක් සිදුනොවන බවත්, පරික්ෂණයකින් තොරව න්‍යායක් බිහි නොවන බවයි.එනම් මේ දෙක එකිනෙනකට යැපෙන සුළුය.වර්ථමානය වන විට සමාජ විද්‍යා න්‍යාය න්‍යායාත්මක මෙන්ම ප්‍රායෝගික සමාජ සංවර්ධනය සදහාද ප්‍රබල ලෙස දායක වෙමින් ති‍බේ.





එමිල් ඩර්කයිම්ගේ සමාජ කරුණු පිලිබද අධ්‍යනය ( Social Facts)



1895දී සම්භාව්‍ය සමාජ විද්‍යාඥ එමිල් ඩර්කයිම් විසින් සමාජ විද්‍යාඥයාත්මක ක්‍රමවේදයේ රීතීන් (Rules of sociological methord) නමින් කෘතියක් සම්පාදනය කරමින් පෙන්වා දුන්නේ සමාජ විද්‍යාඥයා සමාජය පිළිබදව අධ්‍යනය කිරීමේදී පළමුව සමාජ කරුණු පිලිබදව ( Social Facts) පිලිබදව අධ්‍යනය කළ යුතුබවයි.






සමාජ විද්‍යාව යනු සමාජ කරැණු පිළිබදව විද්‍යාව ලෙසද ඔහු විග්‍රහ කර තිබේ. පුද්ගල චර්යාව සංවිධානය වීමේදී සමාජ කරුණු පුද්ගලයාට බලපෑම් කරන ආකාරය මෙයින් විග්‍රහ වේ.සමාජ කරුණක් යනු කුමක්ද යන්න පිලිබදව එනම් එහි මූලික ලක්ෂණ පහත පරිදි ඩර්කයිම් පෙන්වා දෙයි.






01.සමාජ කරුණු යනු දේවල්ය


02.සමාජ කරුණු පුද්ගලයාගෙන් පරිභාහිරය


03.සමාජ කරුණු එකිනෙකට බද්ධවි පවතී.


04.සමාජ කරුණු තේරුම් ගැනීමේදී ඒවා අතර අන්තර් සබදතා පරීක්ෂා කල යුතුය.






ඩර්කයිම් මෙහිදි පෙන්වා දී ඇති ප්‍රබල මතවාදය වනනේ සමාජය පිළිබදව තේරුම් ගැනීමේදී එය සමස්ථයක් ලෙස දැකිය යුතුබවයි.එනම් පුද්ගලයා හැදෑරීමෙන් සමාජය තේරුම් ගත නොහැකිය. සමස්ථය සමස්තයක් ලෙස මිස සමස්ථයෙන් කොටසක් ගෙන සමස්ථය ගැන තේරුම් ගත නොහැකිය.ඔහු මෙහිදී ස්මතු කරන මූලික ලක්ෂණයක් වන්නේ සමාජ කරුණු පුද්ගලයාගෙන් බැහැරව පවත්වමින් ඔහුගේ සමාජ චර්යාව කෙරෙහි බලපෑම් කැන ආකාරයයි. සමාජයේ සාමාජිකයෙක් ලෙස ජීවත්වීමේදී සමාජ කරුණු වලට යටත්ව ජීවත් වීමට ඔහුට සිදුවේ.නිදසුනක් ලෙස මහා සාගරය පිලිබදව අධ්‍යනය කරන්නට නම් එය සමස්ථයක් ලෙස මිස එක් ජල බින්දුවකින් සාගරය තේරුම් ගත නොහැකිය.






එම්ල් ඩර්කයිම් විසින් ප්‍රබල සමාජ කරුණු 03ක් පිලිබදව අදහස් ඉදිරිපත් කර තිබේ.






01.පවුල


02.අධ්‍යාපනය


03.ආගම






පුද්ගලයෙක් සමාජගත කිරීම සදහා ප්‍රාථමික ඒකකයක් ලෙස පවුලෙන් විශාල දායකත්වයක් ලැබේ.පුද්ගලයාගේ උපතේ සිට මිය යාම දක්වාම පවුලෙන් ලැබුණු මූලික පදනම වැදගත් වේ.සමාජය තුළ ජීවත් විය යුතු ආකාරය ගැන අධ්‍යාපන සංස්ථාවෙන් විධිමත් ලෙස තහවුරු කරන අතරම සමාජ ඒකාබද්ධතාවය ආගම තුළින් ඇති කරනු ලබයි.ඩර්කයිම්ට අනුව යුද්ධය ඇතුළු සියලුම සමාජ සංසිද්ධි සමාජ කරුණුවේ. ඒ අනුව නූතන සමාජයේ අර්බුධ වැඩි වී ඇත්තේ සමාජ කරුණු බිදවැටී එකිනෙක බලපෑම් කිරීමෙනි.මානව සමාජය ගැඹුරින් තේරුම් ගැනීම සදහා වැවදගත් සාර්ව එළඹුමක් ලෙස ඩර්කයිම්ගේ සමාජ කරුණු පිලිබද න්‍යායාත්මක ප්‍රවේශය හදුනාගත හැකිය.






සංකේතාත්මක අන්තර් ක්‍රියාවාදය (Symbolic Interactionism)



සමාජ විද්‍යා න්‍යාය ගෙන බලන විට එය සාර්ව සහ ක්ෂුද්‍ර ලෙස කොටස් දෙකක් හදුනාගත හැකිය. ඝට්ටන වාදය,කෘත්‍ය වාදය,පරිණාම වාදය සමාජය පිලිබදව සාර්ව මට්ටමේ විශ්ලේෂණයන් ඉදිරිපත් කරන න්‍යායක් ලෙස සැලකිය හැකිය.එහෙත් සංකේතාත්මක අන්තර් ක්‍රියා වාදය ක්ෂුද්‍ර මට්ටමේ එළඹුමකි.එයින් පුද්ගල චර්යාව ගැඹුරින් විමර්ශණය කරන අතර අනෙකුත් න්‍යායන්ට වඩා මනෝ විද්‍යාත්මක පදනමකින්ද යුක්ත වන බව හැදින් විය හැකිය.



සංකේතාත්මක අන්තර්ක්‍රියාවාදය ඇමරිකානු සමාජයේ චිකාගෝ ගුරුකුළය පසුබිමි කරගෙන ගොඩනැගෙන අතර එය නිර්මාණය කරමින් පෝෂණය කිරීම සදහා වැදගත්වූ පුරෝගාමියා වන්නේ ඇමරිකානු සමාජ විද්‍යාඥ සී.එච්. කූලි ය.ඔහු මෙහිදී පුද්ගල චර්යාව පිළිබද ගැඹුරින් විග්‍රහ කිරීමේදී "දර්පණතල ආත්මය"(Looking glass self)නම් සංකල්පය දක්වයි.මෙයින් අදහස් කෙරෙන්නේ,සමාජය කැඩපතක් කරගෙන පුද්ගලයා තමාගේ චර්යාව ඒ අනුව හැැඩගස්වා ගන්නා ආකාරයයි.ආත්මය යනු ආත්මීය අර්ථයෙන් නොව තමා යන්නයි. එනනම් පුද්ගල පෞර්ෂත්වය‍ මෙයින් පිළඹිඹු කරයි.කූලී වැඩි දුරටත් දක්වන්නේ පුද්ගලයා හුදකලාව ගත හැකිවූවත් ඔහුගේ ආත්මය නොහොත් පෞර්ෂත්වය සමාජය සමග බැදී පවතින බවයි.පුද්ගල චර්යාව හැඩගැසීම සදහා අන්තර් ක්‍රියාවන් බලපාන බවයි.එය සමාජ අන්තර් ක්‍රියාව යනුවෙන් හදුන්වයි.සමාජ අන්තර් ක්‍රියාවක මූලික ලක්ෂණ පහත පරිදි වේ.


01.පුද්ගලයන් දෙදෙනෙකු හෝ ඊට වැඩියෙන් සිටිය යුතුය.


02.ඔවුන් අතර අන්තර් ක්‍රියාවන් හා ප්‍රතික්‍රියාවන් ඉටුවිය යුතුය.


03.පුද්ගලයා හා සමාජය එම ප්‍රතික්‍රියාවන් හා ක්‍රියාවන් පිළිබදව අවබෝධයෙන් සිටිය යුතුය.






සමාජය තුල ගොඩනැගෙන අන්තර් සබදතා කෙටි කාලීන නොව දිගුකාලීන වශයෙන් ඵලදායී විය යුතුය. කූලීට අනුව ප්‍රාථමික ඒකකයක් වන පවුල් සංස්ථාව තුල පුද්ගලයාගේ පෞර්ෂත්වය වර්ධනය සදහා පුබල බලපෑමක් සිදුකරනු ලබයි.මිනිසා නිර්මාණශීලී පුද්ගලයෙකු ලෙස අන්තර් ක්‍රියාවාදයට අනුව පෙන්වා දෙයි.එනම් පුද්ගලයාට සංකේත භාවිතා කිරීමට හැකියාව පවතී.එම සංකේත වලට අර්ථයක් දීමටද හැකිය. එම අර්ථ වලට ප්‍රතික්‍රියා දැක්වීමට පුද්ගලයාට හැකියාවක් පවතී.සංකේත සංජානනය කර ගැනීමට තේරුම් ගැනීමට පුද්ගලයාට හැකිය.මානව සමාජය පරිණාමනය වීමේදී පුද්ගල චර්යාවන් හැඩ ගැස්වීම සදහා ඔහුගේ පෞර්ෂය හැඩ ගැස්වීම සදහා ඔහුගේ පෞර්ෂය හැඩගැස්වීම සදහා ඔහුගේ පෞර්ෂත්වය වර්ධනය කර ගැනිම සදහා සමාජය වැදගත් වන ආකාරය කූලී මෙහිදී ගැඹුරින් විග්‍රහ කර තිබේ.






සී.එච් කූලි ගෙන් ආරම්භවූ "සංකේතාත්මක අන්තර් ක්‍රියාවාදය" තව දුරටත් වර්ධනය කරමින් අදහස් ඉදිරිපත් කල ඇමරිකානු සමාජ විද්‍යාඥයෙකු ලෙස ජෝර්ජ් හර්බ් මීඩ් හැදින්විය හැකිය.මොහු විසින් පල කල අදහස් ඔහු ජීවත්වසිටි කාලය තුළ කෘතියකින් ඉදිරිප්ත කිරීමට නොහැකකි වූ අතර ඔහුගේ මිය යාමෙන් අනතුරුව සිය පරපුර විසින් එම ලිපි ලේඛන එක් කොට 1934දී "මනස,ආත්මය හා සමාජය" යනුවෙන් කෘතියක් සම්පාදනය කර තිබේ.මීඩ්ට අනුව පුද්ගල පෞෂත්වය,ආත්ම සංවර්ධනය නම් සංකල්ප ඔස්සේ අවධි 03කින් නිර්මාණය වී තිබේ.


01.අනුකාරී


02.රංගන


03.ක්‍රීඩා






"අනුකාරී අවධිය" උපතේ සිට වසර 04 දක්වා කාලයයි.දෙමාපියන් යටතේ වසමින් වැඩිහිටි ධර්මතාවයන් ග්‍රහණය කර ගැනීමට උත්සාහ දරන අවධිය ලෙස සලකයි.


වසර 04 සිට 08 දක්වා කාළය රංගන අවධිය වේ.ක්‍රමයෙන් අත්දැකීම් අභ්‍යන්තරීකරණය කර ගන්නා අවධිය ලෙස මෙය දක්වයි.තමා ලබා ගත් දෙය වඩා නිවරදිව සමාජය තුළ ක්‍රියා කිරීමට උත්සාහ කරන අවධිය 08න් පසුව එළඹෙන යුගයයි.






පුද්ගලයා සමාජය තුළ තම චර්යාව හැඩගස්වා ගන්නා ආකාරය පහත පරිදි ලක්ෂණ කිහිපයකින් දැක්විය හැකිය.


01.තමා


02.තමා සම්බන්ධ සමාජ අවස්ථාව


03.තමා ඉදිරියේන සිටින්නා


04.ඉදිරියේන සිටින්නාගේ ක්‍රියාව


05.තමාගේ ප්‍රතික්‍රියාව






මීඩ් විසින් පුද්ගල ආත්මය ,


01.භෞතික ආත්මය


02.සමාජ ආත්මය


ලෙස ස්වරූප 02ක කින් ඉදිරිපත් කරයි.






භෞතික ආත්මය යනු බාහිර ඉන්ද්‍රීයන් මගින් අදහස් පල කිරීමයි.


සමාජ ආත්මය යනු පුද්ගල ඉන්ද්‍රීයන් මගින් කරන අදහස් වලට සමාජය දෙනු ලබන අර්ථ කථනයන්ය.






සංකේතාත්මක අන්තර්ක්‍රියාවාදය නූතන සමාජය තුල වඩාත් පුළුල් පදනමකින් විග්‍රහ කල අන්තර්ක්‍රියා වාදියෙකු ලෙස අර්වින් ගෝත්මාන් සැළකිය හැකිය. ඔහු විසින් පුද්ගලයෙකුගේ භූමිකාවෙන් සමාජය තුල ක්‍රියාත්මක කරන ආකාරය මෙයින් පැහැදිලි කරයි.ප්‍රකට ප්‍රවේශයක් වන රංගකරණ ප්‍රවේශයේදි සෑම පුද්ගලයෙක්ම නළුවෙක්ද වන සෑම පුද්ගලයෙක්ම ප්‍රේක්ෂකයෙක්ද වන විවෘත රගමඩලකි. සමාජ විද්‍යාව ඵලදායී සබදතා මත ගොඩ නැගේ. සෑම පුද්ගලයෙකුටම තත්ත්වයන් හා කාර්යභාරයන් හිමිවන බවත් එය ඉටුවීමෙන් ගැටුමකින් තොරව සමාජ ව්‍යුහය ක්‍රියාත්මක වන අයුරු ඔහු මෙහිදී පෙන්වා දේ.විටෙක සැමියා නළුවෙකුවී බිරිද ප්‍රේක්ෂකයෙකු වේ.නිතරම පුද්ගලයාගේ චර්යාව සම්බන්ධ‍යෙන් සමාජය බලා සිටී.සමාජයට අනුව පුද්ගල හැසිරීම ක්‍රියාත්මක විය යුතුය.මෙම අදහස තවත් ලෙසකින් ඔහු මෙසේ පැහැදිලි කරයි. "මා යනු කවරෙක් දැයි තීරණය වන්නේ මා පිළිබදව මා සිතන ආකාරයට හෝ මා පිළිබදව ඔබ සිතන ආකාරයට හෝ නොව මා පිළිබදව ඔබ සිතන ආකාරය පිලිබදව මා සිතන ආකාරයෙනි".






පුද්ගලයා සමාජයේ හැසිරිය යුත්තේ කෙසේද යන්න පිළිබදව සමාජය විසින් තීරණය කරනු ලබන ආකාරය මෙයින් පැහැදිලිවේ.ඔහුගේ "උන්මත්තකාගාරය" කෘතිය තුළින් තහවුරුවූයේ එක්තරා ආරෝග්‍ය ශාලාවකට පැමිණි පුද්ගලයින්ගෙන් 60%කට උමතු බව වැළදී ඇත්තේ එම ස්ථානයට පැමිණීමෙන් පසුව බවයි.මෙය නූතන සමාජයේද දැකිය හැකිය.යම් පුද්ගලයෙක් වරදකට අධිකරණයට කැදවූ විට ඔහු නිවරදි වූවද අපරාධකරු යන නාමය සමාජය තුල නිර්මාණය වේ.






හර්බට් බිලුවර් නම් සමාජ විද්‍යාඥයා අන්තර් ක්‍රියා වාදයට "නිලබල ක්‍රමය" නමින් සංකල්පයක් එක් කරනු ලැ‍බ තිබේ.






ඉහත සමාජ විද්‍යාඥයින්ගේ දායකත්වයෙන් වර්ධනයවූ සංකේතාත්මක අන්තර් ක්‍රියාවාදය නූතන සමාජය තුළද ක්ෂුද්‍ර මට්ටමේ හැදෑරීම්වලදි වැදගත්වේ.එය සමාජ විද්‍යා න්‍යාය තුල කොතෙක් ශක්තිමත්වීද යත් මෙහි නවතම දායකත්වයක් ලෙස ප්‍රජාව විද්‍යාව මානව වංශ ක්‍රමවේදය යන සංකල්පයද ගොඩනැගී තිබේ.






න්‍යාය සහ න්‍යායේ කාර්ය භාරය.



සමාජ විද්‍යාවේ න්‍යායාත්මක පසුබිම



ඉතාම කෙටි එහෙත් සීඝ්‍ර වර්ධනයක් සහිත විෂයක් ලෙස සමාජ විද්‍යාව සෙසු සමාජීය විද්‍යාවන්ට සාපේක්ෂව මේ වන විට ඉතා පුළුල් ලෙස ව්‍යාප්ත වි ඇතිබව හදුනාගත හැකිය.ඔගස්ට්කොම්ට් විසින් 1839දී මෙම විෂය සමාජ විද්‍යාව වශයෙන් නම් කරන අතරත එතැන් සිට මිනිසාගේ චර්යාවන් පිලිබද අවධ්‍යනය කරමින් සීඝ්‍ර දියුණුවක් හිමි කරගෙන තිබේ.මේවන විට න්‍යායාත්මක වශයෙන් ද ප්‍රායෝගික වශයෙන්ද සමාජ විද්‍යාව ස්වාධීන විෂයක් ලෙස සිය අනන්‍යතාවය තහවුරු කරගෙන තිබේ.මෙසේ සමාජ විද්‍යාව විෂයක් වශයෙන් සිය අනන්‍යතාවය තහවුරැ කර ගැනිමේදී ඊ‍ට දායකවූ සමාජ විද්‍යාඥයින් ගණනාවකි.එනම්, ඔගස්ට් කොම්ට්,එමිල් ඩර්කයිම්,කාල් මාක්ස්,මැක්ස්වෙබර්,හර්බට් ස්පෙන්සර්,ජෝර්ජ් සිමෙල් වැනි අය ඉතා වැදගත් වේ. මොවුන් සම්භාව්‍ය ගුරු කුලයේ සමාජ විද්‍යාඥයින් වශයෙන් හදුන්වනු ලැබේ.මොවුන් බොහෝ විට සමස්ථ සමාජය වඩාත් පුළුල් වශයෙන් අධ්‍යනය කිරීමට උත්සාහ කල අතර එම නිසා මොවුන් ගොඩනගා ගන්නා ලද න්‍යායන් සමාජය පිළිබද සාර්ව න්‍යායන් ලෙස හැදින්වේ.






කෙසේ වෙතත් මැක්ස් වෙබර් යම් පමණකට සමාජය සූක්ෂම ලෙස අධ්‍යනය කිරීමට පෙළඔුන බව පැහැදිලි වේ.මොවුන් පරිණාමවාදී දෘස්ඨි කෝණයෙන් සමාජය මුල්වරට විශ්ලේෂණය කිරීමට උත්සාහ දරා තිබේ.එනම් සමාජයේ පැවැත්ම සහ එහි වෙනස් වීම යන විචල්‍යයන් ඔස්සේ මෙම සම්භාව්‍ය ගුරු කුලයේ සමාජ විද්‍යාඥයින් තමන්ට ආවේනික වූ න්‍යායාත්මක මතවාදයන් ගොඩ නැගූ අතර මේවායින් සමහරක් ඉතා ශක්තිමත් වු අතර ඇතැම් ඒවා එතරම් ශක්තිමත් නොවුණි.එමෙන්ම ඔවුන්ගේ මෙම න්‍යායාත්මක ආකාතීන් අනුව පරීක්ෂණ මත සිදුකල ඒවා නොවන අතර මේවා කාල්පනික නොහොත් දාර්ශනික චින්තනයක් මත ගොඩනැගුණු ඒවා වෙයි.






කෙසේ වෙතත් පසුගිය සියවස් එකහමාරක කාළය තුළ සමාජ විද්‍යාව එය ආරම්භවූ බටහිර යුරෝපයට පමණක් සීමා නොවී ලෝකයේ වෙනත් ප්‍රදේශ කරා ව්‍යාප්ත වී තිබේ.විශේෂයෙන්ම කාල් මාක්ස් ගේ බලපෑම මත සමාජ විද්‍යාව වඩා තීරණාත්මක ලෙස ලෝකය පුරා ව්‍යාප්ත වූ අතර මාක්ස් ගේ අදහස් වලට එකගව හා විරුද්ධ වීමට අදහස් රාශියක් ගොඩනැගි තිබේ.
  ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍